SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 25 Apr 2024   06:47:37
අවුල් අයවැය?:
30 Nov 2015 03:22:40
හවුල් ආණ්ඩුවේ අවුල් අයවැය


Nov 30, 2015 (SLBO) - එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිල එක්ව පිහිටවා ඇති ආණ්ඩුවේ මංගල අයවැය පසුගිය 20 දා ඉදිරිපත් කරණ ලදී. පිටු 109 දිගැති මෙම දීර්ඝ අයවැය වාර්ථාව ගැන සුපුරුදු පරිදි බොහෝ මාධ්‍ය වාර්තා කලේ උඩින් පල්ලෙන් කියවා මිස බුද්ධියෙන් විමසා නොවේ.ඔවුන් බොහෝ දෙනෙකු වටහාගෙන තිබුනේ ගෑස් මිල අඩුකල, දේශිය කිරි පිටි මිල අඩු කල, උපයන විට ගෙවීම් බදුවලට අදාල සීමාව ඉහල දැමු අයවැය ජනතාවට හිතකර අයවැයක් ලෙසයි. නමුත් රටේ තරුණ පරපුර විසින් නියෝජනය කරණු ලබන සමාජ වෙබ් අඩවි සම්ප්‍රදායික මාධ්‍ය වලට කලින් අයවැයෙ සැඟවුනු අවධානම් වහා හඳුනා ගෙන තිබුනි.

අයවැයෙහි හොඳ පැත්තක් නැතුවා නොවේ. ඇත්තෙන්ම කියනවානම් මුදල් අමාත්‍යංශය බොහෝ කලකට පසු අනෙකුත් ආයතන ප්‍රධානීන්ටද හොඳින් සවන්දී කාලයක් තිස්සේ විටින් විට කුණු කූඩයට විසිවුනු හොඳ යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුලත්කොට කොට ඇති ආකාරය ප්‍රශංසනීයය. පසුගිය රජයේ අයවැය සකස්කල සමහර ප්‍රධානපෙලේ නිලධාරීන් අන් කිසිවෙකුට සවන් නොදීම එකල දේශපාලන වේදීකාවල පවා කතා බහට ලක්වූ ප්‍රශ්නයක් විය. නමුත් අයවැය විශ්ලේෂණයේදී වඩා වැදගත් වන්නේ සැමට අහුම්කම් දීම පමණක් නොව අයවැයෙහි සමස්ථ අන්තර්ගතයයි. අයවැය හරහා එලියට එන රජයේ ආර්ථික ප්‍රතිපත්තියයි.

මෙවර අයවැයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් අපට හඳුනා ගත හැක.

1. මෙය වටහා ගැනීමට නම් මුදල් අමාත්‍යවරයා විටින් විට සජීවී රූපවාහිනියට පෙනෙන්නට නොකියවා සභාගත කල කොටස් කියවා බැලිය යුතුය. 2016 රජයේ බදු රැස්කිරීම 2015 ට සාපේක්ෂව රුපියල් බිලියන් 301 කින් වැඩි වීමට නියමිතය. මෙය 24% වැඩි වීමකි.තව පැත්තකින් බලන විට 2014 රුපියල් බිලියන 1050 වූ සමස්ථ බදු ප්‍රමාණය 2016 වන විට රුපියල් බිලියන 534 කින් හෙවත් 50% න් වැඩි වී ඇත. පසුගිය රජය අය කල බදු ප්‍රමාණය දල ජාතික නිෂ්පදනයෙන්10% පමන වූ නමුත් වත්මන් රජය එය 13% දක්වා වැඩි කර ඇත . මෙය යහපාලනයක් නොව බදු පාලනයකි. මේ බදු ගෙවිය යුත්තේ මහජනතාවය. නොවැම්බර් 5 ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අගමැති පොරොන්දු වූයේ වක්‍ර බදු අඩුකරන්නටය. නමුත් ඇත්තෙන්ම සිදුවී ඇත්තේ 2015 දී 82% වක්‍ර බදු ප්‍රතිශතය 86% දක්වා තවත් ඉහල යාමය. රජය භාණ්ඩ කීහිපයක මිළ අඩුකරනවා යැයි කීවාට එය ඇස් බැන්දුමක් පමණි. අතුරු අයවැයෙන් අඩුකලා යැයි කී සෑම භාණ්ඩයකම මිළ මේ වන විට ඉහල ගොස් ඇත. තෙල් හා ගෑස් මිල අඩු වූයේ ලෝක වෙළඳ පොලේ තෙල් හා ගෑස් මිල අඩු වූ නිසා මිස රජය ගෑස් වලට ගන්නා බද්ද අඩු කල නිසා නොවේ. විවිධ ක්‍රම වලින් කරලියට එන බදු බර ජනතාවට තේරුම් යන්නේ කාලයත් සමගය. උදාහරණයක් වශයෙන් ජනතාව මිළදී ගන්නා සෑම භාණ්ඩයකම හා සේවාවකම මිළ ඉහල යනු ඇත.

2. මෙය පෞද්ගලීකරණයට පාර කපන අයවැයකි. රජයේ 2016 ආදායමෙන් රුපියල් බිලියන් 378ක්ම බදු නොවන ආදායම් වන අතර එය 2015 ආදායමට වඩා බිලියන 252 ක් වැඩිය.රාජ්‍ය ආයතන තම ලාබාංශ 2016 දී 200% කින් වැඩි කරගැනීමට සමත් නොවන බව පොඩි දරුවෙකුට වුවත් තේරෙන නිසා මෙම රුපියල් බිලියන 252 ක අමතර ආදායම පැදිලිවම රාජ්‍ය සම්පත් විකුණා රැස් කරන්නට බලාපොරොත්තු වන මුදලක් විය යුතුය. රාජ්‍ය ව්‍යවසායන් සිංගපූරුවේ ටැමසෙක් ආකාරයේ සීමාසහිත සමාගමක් යටතට ගෙන පෞද්ගලීකරණයට කොට පාරක් සොයා ගැනීමක් විය යුතුය.එහි අරමුණ මෙම ආයතන දියුණු කොට පවත්වාගෙන යාම නොවන බවට බළලා මල්ලෙන් එලියට පැන්නේ දැනටමත් රජය සතුව ඇති ලාබ ලබන ආයතන සමහරක් විකුණා දමන බව කී කතාවෙනි.රජය සතු ලංකා හොස්පිටල් , හිල්ටන් හෝටලය, ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටලය, වෝටර්ස් එඩ්ජ්, සෙලින්කො හොස්පිටල්, මොබිටෙල් වැනි ආයතන ලාබ ලබන සාර්ථක ව්‍යාපාර වන අතර නිමවීමට ආසන්න හයට් හෝටලයද සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියත් සමග අනිවාර්‍යයෙන්ම ලාබ ලබන බව තෙරුම් ගන්නට අපහසු නැත.

3. මෙය විදේශිකයන්ට රට පාවාදෙන අයවැයකි. විදේශිකයන්ට කිසිදු බාධාවකින් තොරව මේ රටට මුදල් ගෙන එන්නටත් ආපසු ගෙනයන්නටත් පාර විවෘත කරන අයවැය දේශීය ව්‍යාපාරිකයන් හා දේශිය සම්පත් ආරක්ෂා කරන්නට විදේශිකයන්ට පනවා තිබූ සීමාවන් ඉවත් කරයි. 2001-2003 බලයට ආ රජය විදේශිකයන් සඳහා වූ ඉඩම් මිළදී ගැනීමේ බදු ඉවත් කිරීම හා මේ තුලින් ගාල්ල කොටුව තුල මෙන්ම ලංකාව පුරා වෙරළ තීරයන්හි සුන්දර ස්ථාන රාශියක් විදේශිකයන් අයිතියට පත්විය. රාජපක්ෂ රජය විදේශිකයන්ට ඉඩම් මිළදී ගැනීම තහනම් කොට ඉඩම් බදු ගැනීමේදීද 15% අමතර බද්දක් පැනවීය. මෙම අයවැයෙන් නැවතත් එම බදු ඉවත් කොට ඇත. මීට අමතරව දේශිය ජනතාවත බදු පිට බදු ගහන රජය, කොටස් වෙළඳපොලේ අයෝජනය කරන විදේශිකයන්ට පමණක් ඔවුන්ගේ ලාබාංශ බදු වලින් නිදහස් කොට ඇත.

4. කෘෂිකර්මාන්තය විනාශ කරන අයවැයකි. රාජපක්ෂ රජයේ මූලික ප්‍රතිපත්තියක් වූයේ රට ආහාර වලින් ස්වයං පෝෂිත විය යුතු බවය. යුද්ධය පැවති කාලයේ පවා නොකඩවා පොහොර සහනාධාරය ගොවියන්ට ලබා දුන්නේ එම නිසාය. යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වල පොහොර සහනධාරය දිගටම පවත්වාගෙන යනවායැයි වූ පොරොන්දුව අමු අමුවේ කඩා බිඳ දමමින් රජය පොහොර සහනාධාරය වවුචරයකට හරවන්නට යෝජනා කරයි. 2015 වසරේ පොහොර සහනධාරයට වැය කල රුපියල් බිලියන 35 ට වඩා වැඩි රුපියල් බිලියන 37.5 ක මුදලක් අයවැයෙන් මේ සඳහා වෙන්කරනව යැයි රජය කියනාවිට එයට රැවටෙන අයත් මේ රටේ සිටිති. අප ඇසිය යුත්තේ ප්‍රශ්න දෙකක් පමණි. පලමුවන්න නම් පොහොර සහනාධාරය හෙක්ටයාර් 1 කට පමණක් සීමා කල විට කලින් සහනාධාරය ලැබූ කී දෙනෙකුට එය නොලැබී යනවාද?. දෙවැන්න නම් රුපියලේ අගය දිගින් දිගටම කඩා වැටෙද්දි අනිවාර්යයෙන්ම ආනයන කරනු ලබන පොහොර මිල ඉදිරියේදී ඉහල යන නිසා අද ගෙවන මුදලට හෙට එම පොහොර ප්‍රමාණයම ගන්නට ගොවියන්ට බැහැ නේද? එක පැත්තකින් පොහොර සහනාධාරය කපන රජය ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකකින්ම හා අතුරු අයවැයෙන් පොරොන්දු වු වී කිලෝවට රුපියල් 50 දීමේ සහතික මිල යෝජනාව සංශෝධනය කොට රුපියල් 50 අදාල කීරි සම්බා වලට පමණක් යයි කියයි.පසුගියදා දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ මුදල් ඇමතිවරයා රටටම ඇසෙන්නට කියාසිටියේ ඉන්දියාවෙන් සහල් ලාබයට ගෙන්වි‍ය හැකි නිසා දේශීය ගොවියන් වී ගොවිතැන අතහැර දැමිය යුතු බවයි. පසුගිය වාරයේ බලයට පැමිනි විට කුඹුරු ගොඩකොට කර්මාන්තශාලා සෑදිය යුතු බවට රනිල් වික්‍රමසිංහ කල යෝජනාවද අපට මතක ඇත. සමස්ථ ආර්ථික ක්‍රියාවලිය ව්‍යාපාරයක් ලෙස දකින එක්සත් ජාතික පක්ෂය දේශිය කෘෂිකර්මාන්තය පිළිබඳව දක්වන ආකල්පය මෙයින් මොනවට පැහදිලි වෙයි.

5. අපනයන බෝග ගොවියන් අමතක කල අයවැයකි. පසුගිය සැප්තැම්බර් මාසය වන විට 2014ට සාපේක්ෂව පොල් අපනයන ආදායම 34.6% කින්ද, තේ අපනයන ආදායම 44.6% කින්ද රබර් අපනයන ආදායම 42% කින්ද පහත වැටී තිබුනි. මෙම කර්මාන්ත දියුණු කිරීමට රජයෙන් කිසිදු යෝජනාවන් අයවැයෙහි නැති අතර එදා පොරොන්දු වූ සහතික මිළ ගැන කතාවක්වත් නැත. යෝජනා කොට තිබෙන්නේ තේ හා පොල් ආනයන කරන්නටය. මින් විශේෂයෙන්ම තේ ආනයනය කොට ලංකාවේ මිශ්‍ර කිරීමේ යෝජනාව පෞද්ගලික වාසිය පමණක් බලන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් පසු ගිය රජයන් ගණනාවකට ඉදිරිපත්කොට ප්‍රතික්ෂේප වූ රටට ඉතා අහිතකර යෝජනාවකි. අද ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසාම සිලෝන් ටී ප්‍රසිද්ධව ඇත්තේ ඉස්තරම්ම තේ වර්ගයක් ලෙසයි.රුසියාවේ රූබලය කඩා වැටීම , සිරියාවේ යුද්ධය වැනි අපේ ප්‍රධාන වෙළඳ පොලවල මේ කාලයේ පවතින පසුබෑමට විසඳුම රජය මැදිහත් වී නව වෙළඳ පොලවල් සොයා යෑම හා ලංකාවේ ඉස්තරම් තේ වලට ජාත්‍යන්තරව හොඳ ප්‍රචාරයක් ලබාදීම මිස හදිසි වී අපේ තේ බාල්දු කර ගැනීම නොවේ. ලංකාව බාල තේ ගෙනවිත් මිශ්‍ර කරන රටක් ලෙස ලෝකය හඳුනාගත්තොත් ශත වර්ශයකටත් වඩා කාලයක් මුළුල්ලේ ගොඩනගා ගත් "සිලෝන් ටී" වෙළෙඳ නාමයට සිදු වන්නේ කිමක්ද?

6. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට දුන් පොරොන්දු බොරු කල අයවැයකි. එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සඳහා දුන් මූලික පොරොන්දු දෙකක් වූයේ අධ්‍යාපනයට රජය දරණ වියදම දළ ජාතික නිෂ්පාදනයෙන් 6% හා සෞඛ්‍යයට දරණ වියදම දළ ජාතික නිෂ්පාදනයෙන් 3% දක්වා ඉහල දමන බවය. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රජය දරණ වියදම දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4% දක්වා ඉහල දමා ඇතැයි රජය පුරාජේරු ගැසුවද එය මේ වන විටත් බොරුවක් බව ඔප්පු වී අවසානය. අධ්‍යාපන වැය ශිර්ෂය යටතේ ඇති රුපියල් බිලියන් 121.35ක්ම දැනටමත් ඉදිකොට ඇති ගොඩනැගිලිය, ක්‍රීඩාපිටි හා අනෙකුත් පහසුකම් යලි තක්සේරු කොට සාදා ගත් අගයක් බව මුදල් ඇමතිතුමාම දැන් පිලිගෙන අවසානය. මෙම රුපියල් බිලියන 121.35 ඉවත් කල විට 2016 රජය අධ්‍යාපනයට වෙන්කොට ඇත්තෙ රුපියල් බිලියන 64.6 පමණි. මෙය 2015 අධ්‍යාපනය වෙනුවෙන් වැය කල රුපියල් බිලියන් 62.1 ට වඩා වැඩි වන්නේ රුපියල් බිලියන් 2.5 කින් පමණි.මේ මුදල 2016 ඇස්තමේන්තුගත දළ ජාතික නිෂ්පාදනය වන රුපියල් බිලියන 12,542 න් 0.5% ක් පමණි. අධ්‍යාපනයට 6% ඉල්ලා පෙලපාලි ගිය ආචාර්ය මහාචාර්යවරුන් හා ජනතා විමුක්ති පෙරමුණ රජය විසින් ගොනාට අන්දවා ඇත්තේ මේ ආකාරයටය. සෞඛ්‍ය සම්බන්ධයෙන්ද සත්‍යය මෙය හා සමානය. පවතින ගොඩනැගිලි යලි ඇස්තමේන්තු කොට පෙන්නවූ රුපියල් බිලියන් 17.8 ඉවත් කල විට 2016 රජය සෞඛ්‍යට ඇත්තෙන්ම වෙන්කොට ඇත්තෙ රුපියල් බිලියන 156.2ක් පමණි. මෙය 2015 සෞඛ්‍ය වෙනුවෙන් වැය කල රුපියල් බිලියන් 148 ට වඩා වැඩි වන්නේ රුපියල් බිලියන් 8.2 කින් පමණි.මේ මුදල 2016 ඇස්තමේන්තුගත දළ ජාතික නිෂ්පාදනය වන රුපියල් බිලියන 12,542 න් 1.2 % ක් පමණි. 2014 දීද රජය සෞඛ්‍ය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 1.2% වියදම් කලේය. එම ප්‍රමාණය මදියැයි එක්සත් ජාතික පක්ෂ‍යට ඡන්දය දුන් ජනතාවට රජය ආයෙත් කොකා පෙන්නා ඇත.

7. දේශීය නව ව්‍යවසායකයන් අධෛර්යයමත් කරන අයවැයකි. කුඩා හා මධ්‍යම පරමාණ ව්‍යාපාර නගා සිටුවන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනවල නැවත නැවත ලිවූ එක්සත් ජාතික පක්ෂය බලයට ආපසු ඉදිරිපත් කරන මංගල අයවැයෙන්ම සුලු ව්‍යාපාරිකයන්ට බදු වැඩි කොට ඇත. කුඩා ව්‍යාපාර වලට කලින් තිබු බදු නිදහස් සීමා ඉවත් කොට ඇති නිසා සියලු ලොකු කුඩා ව්‍යාපාර දැන් තමන් ඉන්නා ක්ෂේත්‍රය අනුව 15% හෝ 30% බදු ගෙවිය යුතුය.විශේෂයෙන්ම නිෂ්පාදන හෝ සේවා ලෙස හඳුනා නොගත් විවිධ වෙළඳ ක්‍රියාකාරකම් වල යෙදී සිටින සුළු ව්‍යාපාරිකයන් මින් මතු අසුවන්නේ 30% බදු සීමාවටය. මීට අමතරව නව ව්‍යවසායන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නන් අධෛර්යයමත් කරන්නට මෙම අයවැය හේතු වෙයි. ඒ කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීම හා ලියාපදිංචිය පවත්වාගෙන යාමේ වියදම් ඉහල දමීම නිසාය. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු ජනවාරි 1දා සිට වැඩි වෙයි. ලියාපදිංචිය පවත්වාගෙන යාමටද වාර්ෂිකව රුපියල් 60,000 බද්දක් හඳුන්වා දී ඇත. කුඩා ව්‍යාපරයන් මින් මතු ලැයිස්තුගත කරන්නටනම් කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇත. මන්ද ලැයිස්තුගත සමාගමකට මෙම වාර්ෂික බද්ද රුපියල් 500,000 වන නිසාය. ලංකාවේ සමාගමක් ලෙස ලියාපදිංචි දැනට අකර්මණ්යව පවතින සමාගම් 25,000 පමණ ඇත. රජය මේ සියල්ලෙන් නව බද්ද අයකිරීමට බලාපොරොත්තුවෙයි. වෙනකක් තබා ව්‍යාපාරය අසාර්ථක වුවෙකුට ස්වේච්ඡාවෙන් ව්‍යාපාරය ඈවර කිරීමටද රුපියල් 250,000 අධික බද්දක් ගෙවිය යුතුය.රජයක් කල යුත්තේ තරුණ පරපුර ව්‍යාපාර සඳහා උනන්දු කිරීම මිස ඔවුන් අධෛර්යයමත් කිරීම නොවේ. ව්‍යාපාරයක් පටන් ගන්න සෑම කෙනෙකුටම පලමු වරම එය සාර්ථක වීමේ සම්භාවිතාව සීමිතය. බොහෝ දක්ෂ ව්‍යවසායකයන් හිස ඔසවන්නේ වැටි වැටී නැගිටිමින් අලුත් ව්‍යාපාර වලට අත ගසමිනි. රජයේ නව බදු ක්‍රමය අනුව ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ කොටි වලිගය අල්ලා ගත්තා වැනි වැඩකි. වැරදුනොත් ගොඩ යාමක් නැත.

8. අනාගත පරපුර ණයකරුවන් කරන අ‍යවැයකි. මහින්ද රාජපක්ෂ යුගයේ ණය ලබාගත්තේ රටේ සංවර්ධන කටයුතු සඳහාය. එහෙත් රටේ ණය බර ආර්ථිකයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පැවති අතර 2014 සමස්ථ රාජ්‍ය ණය දල ජාතික නිෂ්පාදනයෙන් 75.5% දක්වා අඩුවී තිබුනි. එහෙත් 2015 වසරේ වත්මන් රජය දිගින් දිගටම දේශීය හා විදේශීය ණය ලබාගනිමින් කල සංවර්ධනයක් නැත. 2015 විදේශ ණය පමණක් රුපියල් බිලියන 453 ක් ලබාගෙන තිබුනි. මෙය හම්බන්තොට වරාය (රුපියල් බිලියන 36), මත්තල ගුවන් තොටුපොල (රුපියල් බිලියන 27) හා කටුනායක අධිවේගී මාර්ගය යන තුනම සාදන්නට ගිය මුලු වියදම මෙන් සිව් ගුණයකටත් ටත් වඩා වැඩි මුදලකි. එහෙත් බෝක්කුවක් සාදනවා තරම්වත් සංවර්ධනයක් 2015 මේ රටේ සිදු වූනේ නැත. දැන් 2016 සඳහා තවත් රුපියල් බිලියන 519 ක් පමන මුදලක් විදේශ ණය ගැනීමට ඇස්තමේන්තුගත කොට ඇත. මෙම මුදල් වැයකරන්නේ කුමටදැයි රටේ ජනතාව දැනගත යුතුය. මන්දයත් නිසිලෙස අයෝජනය නොකෙරෙන සියලු වියදම් අනාගත පරපුරට අනවශ්‍ය බරක් පමණක් වන බැවිනි.

9. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අනතුරේ ලන අයවැයකි. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකට එක්කොට ජාතික විශ්‍රාම පාරිතොෂිත අරමුදල නමින් අරමුදලක් පිහිටුවා රුපියල් ට්‍රිලියන 1.7 ක වත්කම් එයට බැර කිරීමට යෝජනා කෙරේ. මහ බැංකුව විසින් මෙතෙක් කල් නියාමනය කරන ලද සැමදාමත් වාර්ෂික සාධාරණ පොලියක් අරමුදලට එකතුකල සේවක අර්ථසාධක අරමුදල කළමණාකරුවන්ගේ හිතූ මනාපයට ආයෝජනය කලහැකි පැහැදිලි නියාමනයකින් තොර නව යාන්ත්‍රණයක් යටතට ගෙන එන්නේ කාගේ යහපත උදෙසාද? දැඩි ණයබරින් මිරිකී එදිනෙදා වියදම්වත් පියවා ගත නොහැකිව සිටින ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 1.7 ක විශාල අරමුදලකට මේ ඇඟිලි ගහන්නේ කුමන යටි අරමුණකින්ද කියා සේවකයන් විමසා බැලිය යුතුය.මුල්‍ය අරමුදල් පරිපාලණය ඉතා ලාභ දායී ව්‍යාපාරයකි. සාමාන්‍යයෙන් ඒ සඳහා 2%-5% වාර්ෂික ගාස්තුවක් අය කරනු ලැබේ. ට්‍රිලියන 1.7කින් 1% කාට හෝ ගෙව්වත් එය යනු වාර්ෂිකව රුපියල් බිලියන 17 ක පමණ ආදායමකි. එය කිහිපදෙනෙකුට වලට කඩා ගෙවන්නට පුලුවන.මෙවැනි විශාල අරමුදල පාලනය කරනා කණ්ඩායමකට කොටස්වෙළඳ පොලේ ලැයිස්තුගත සමාගම වලට කල හැකි බලපෑමද ඉතා විශාලය.

10. අභියෝග පිළිගැනීමට ඇති බිය ආණ්ඩුවක අයවැයකි. එක්සත් ජනතා නිදහස් සංධානය රටේ අනාගතය පිලිබඳ පැහැදිලි සහතිකයක් පසුගිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල දී තිබු බවට එහි තිබු 2020 ඉලක්කයන් උදාහරණ වේ;
- දල ජාතික නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන් 100 වූ ආර්ථිකයක්
- ඇමෙරිකානු ඩොලර් 7000 ක් ඒක පුද්ගල ආදායමක්
- වාර්ෂිකව 8% ක වර්ධන වේගයක්
- රටේ ණයබර දල ජාතික නිෂ්පාදනයෙන් 65% දක්වා පහතට
- අයවැය පරතරය 3% දක්වා පහතට
- පරිගණක සාක්ෂරතාවය 90% දක්වා ඉහලට
- රටේ සියලුම දෙනාට නළ ජලය
- සියලු නිවෙස් වලට බ්‍රෝඩ් බැන්ඩ් පහසුකම්
- කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන් 100
- ඍජු හා වක්‍ර රැකියා 15 ලක්ෂයක්
- රටේ ඕනැම දෙතැනක් අතර පැය 6කින් ගමන් කල හැකි මාර්ග පද්ධතියක්

මුදල් ඇමති ඉදිරිපත් කල අයවැයේ මෙවැනි ඉලක්ක කිසිවක් නොමැත.එහි ඇත්තෙ කණා මුට්ටි බිඳිනවා මෙන් මොනවා හෝ කොට ප්‍රතිඵල බලාපොරොත්තු වීමකි.

මුදල් ඇමති සභාගතකල අයවැය වාර්තාව අනුව 2016 අය වැය පරතරය රුපියල් බිලියන 740 කි. එය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 5.9% යැයි අයවැය වාර්තාව කියය්. එසේ වීමට නම් 2016 දළ ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 12,542 විය යුතුය.එම අයවැය වාර්තාවම කියන පරිදි 2014 දළ ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 10,292කි. ලෝක බැංකුව පසුගියදා කියපු විදියට 2015 ආර්ථික වර්ධන වේගය 5.7% නම් 2015 අවසන් වන විට දළ ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 10,879 විය යුතුය. මෙම ප්‍රමානයේ සිට 2016 අවසන් වන විට රුපියල් බිලියන 12,542 දක්වා ඉහල යන්නටනම් 2016 සඳහා අවශ්‍ය වන වර්ධනය වේගය 15 % කි. රාජපක්ෂ කාලයේ අත්කරගත් 7% වත් ගන්නට බැරුව 2015 දඟලපු රජය එන අවුරුද්දේ 15% වර්ධනයක් ගන්නවානම් මෙය අනිවාර්‍යයෙන්ම වාර්තාවකි. මොකද ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන චීනයේත් එය 7.4% පමණ නිසාය. ආර්ථික වර්ධන වේගය ගණන් කිරීමේදී උද්ධමනයේ බලපෑම් ඉවත් කල යුතු බව යමෙක් මෙහිදී පෙන්වා දෙන්නට පුලුවන. එවිට අපට අසන්නට වන්නේ 2016 උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහල යනවා ඇතැයි රජය දැනටමත් තීරණය කර අවසන්ද කියායි.

මුල්‍ය ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන්ගේ ඇස්තමේන්තුවනම් 2016 අයවැය පරතරය 6.5% ද ඉක්මවා යනු ඇති බවයි. එය එසේ නොවේවායි අපි පතමු. මන්ද ආර්ථික සංවර්ධන වේගය ගැන රජයේ අධිතක්සේරුව වැරදි නම් රටේ උද්ධමනය ඉතා ඉහල ගොස්, පොලී අනුපාතයන් ඉහල ගොස්, රුපියල තවත් බාල්දු වී, ආර්ථිකය විශාල අර්බූදයකට තල්ලු විය හැකි නිසාය. එවැනි තත්වයක් තුල අවසානයේ බැට කන්නේ මාසික ආදායම මත පමණක් යැපෙන සාමාන්‍ය ජනතාව නිසාය.
- ආචාර්ය නාලක ගොඩහේවා