SLBO Home About Us | To Advertise | Contact Us
Fri, 26 Apr 2024   09:47:43
මාධ්‍යය දේව වාක්‍යද?:
05 Oct 2015 15:29:36
මාධ්‍යයක වාර්තා වූ පමණින් අන්‍යයන් ගැන මතයන් ඇතිකර ගැනීම බුද්ධිමත් ලක්ෂණයක් නොවේ!


Oct 05, 2015 (SLBO) - කොටදෙණියාව අකරන්ගහ ගමේ විසූ සේයා සදෙව්මි නම් වූ පුංචි පැටික්‌කිය කිසියම් නරුමයකු විසින් තලා පෙලා මරා දැමීම අප සියලු දෙනා කම්පාකල කරුණකි.



මා මේ සටහන තබන්නේ ඒ ආශ්‍රිතව කරලියට ආ අද සමාජයේ මුල් බැසගෙන තිබෙන්නාවූ වෙනත් ප්‍රශ්නයක් පිලිබඳවය.



සේයා සදෙව්මි විමර්ශනය පැවැත්වූ පොලිසිය පැය 24ක් ගතවන්නටත් පෙර මාධ්‍ය වලට ප්‍රකාශ කලේ මරණය සම්බන්ධයෙන් දැරියගේ පියා පිලිබඳ සැකයක් ඇති බවය. වහාම ක්‍රියාත්මක් වූ මාධ්‍ය ප්‍රසිද්ධ කලේ දැරියගේ පියා මීට පෙර බාල අපරාධයක් සම්බන්ධව සැකකරුවෙකු බවය.



මෙම පුවත ඇසු අපේ රටේ සංවේදී ජනතාව මහත් කම්පනයට පත්වූහ. මේ සහාසික පියාට දිය යුතු දඩුවම එල්ලුම් ගස බව මුහුණුපොත් හා විවිධ වෙබ් අඩවිවලට දක්වන ප්‍රතිචාර හරහා කියවෙන්නට පටන් ගත් අතර කලකට පසු එල්ලුම්ගසෙ අවශ්‍යතාවය ගැන මහජන කතිකාවක් ආරම්භ විය.



පඩියක් එපා එල්ලුම් ගසේ වධකයා වෙන්න දෙන්න කියා උපවාසක් කරන්නට සූදානම් වූ පදික වෙළෙන්දෙක් ගැනද මාධ්‍ය වල කියවිනි.



ගම්වැසියන්ගෙන් ගුටි කා මැරුම්කන්නට ඉඩ තිබෙන නිසා සේයා සදෙව්මිගේ පියාට දැරියගේ මළගමටවත් සහාභාගීවීමට ඉඩ නොලැබුනි.



දින කිහිපයකට පසු පොලීසිය ප්‍රකාශකලේ අපරාධය කර තිබෙන්නේ පියා නොව අසල්වාසී 17 හවිරිදි තරුණයෙකු හා 27 හැවිරිදි එක් දරු පියෙකු විසින් බවය. මේ දෙදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට බෙහෙවින් පුරුදු වී සිටින බවත් 17 වියැති තරුණයාගේ පරිගණකයේ තිබී අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ රාශියක් සොයාගත් බවත් පොලිසීය විසින් මාධ්‍ය වලට පවසන ලදී. මෙම සැකකරුවන් පිළිබඳව සුපුරුදු පරිදි විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙන ලද අතර අදාල සැකකරුවන්ගේ නිවෙස් ගිනි තැබීමට ගම්වාසීන් ගත් උත්සාහය වලක්වාගත්තේ අසීරුවෙනි.



එල්ලුම්ගසේ අවශ්‍යතාව නැවතත් දැඩි ජනතා සාකච්චාවට ලක්වූ අතර රටේ ජනාධිපතිවරයා පවා තමා එල්ලුම් ගස නැවත ගෙන ඒමට සූදානම් බවත් ඒ සඳහා ලගදීම පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලන බවත් පවසන ලදී. "එල්ලුම්ගස ඉල්ලා පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් මම අත් දෙකම උස්සනවා” යැයි එක් ඇමති වරයෙකු මාධ්‍යවලට කීවේය.



පොලිස් නාටකයේ ඊලඟ ජවනිකාව දිග හැරුනේ කොන්ඩයා නැමති අලුත්ම සැක කරුවෙකු අත් අඩංගුවට ගැනීමත් සමගය. මේ පාරනම් හරියටම අපරාධකරු අසුවූ බව පොලීසිය මාධ්‍යයට කීවේ මීට පෙර අල්ලාගත් අය ගැන කී ආකාරයටමය.



මාධ්‍ය වලට කොන්ඩයාගේ කතාවද අපූරුවට ගැලපුනි . කාම සහනයකින් පෙලෙන සැකකරු මීට පෙර මල මිණියක් ගොඩගෙන එයටද අතවර කල බව කියවිනි. කිසිදු අධ්‍යාපනයක් නොලබා කැලයේ වනචාරීයෙකු ලෙස මොහු ජීවත් වූ බවද කියවිනි. මීට අමතරව සැකකරු අපරාධය පිලිගත් බවද කියවිනි.



කොන්ඩයාගේ නිසා එල්ලුම් ගසේ අවශ්‍යතාව ගැන කතාකරන අයට තවත් තර්ක රැසක් ලැබී තිබුනි. "මතක නැද්ද මම අධිකරණ ඇමති කාලේ එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්න ඉන්දුනීසියාවෙන් කඹයකුත් ගෙනාවා” යැයි එක් ඇමතිවරයෙකු ප්‍රකාශකලේ දේශපාලන ලකුණු දමාගනීමට තරම් හොඳ මතෘකාවක් බවට එල්ලුම් ගස පත්වීගෙන එන නිසාය.



මේ සිද්ධිය පිළිබඳව මට මුලින්ම සැකයක් මතුවුනේ කොන්ඩයාගේ පාපොච්චාරණයෙන් පසුවත් ඩී.ඇන්.ඒ. පරීක්ෂණ අවසන් වන තුරු කලින් සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ තබාගන්නට පොලීසිය අවසර ඉල්ලන්නේ ඇයි කියාය.



තමුන් නිදොස් බව ඩී.ඇන්.ඒ. පරීක්ෂණ වලින්ද හෙලිවී නිදහස්ව ගෙදර ආ 17 හැවිරිදි පාසැල් සිසුවා හා එක් දරු පියා දැන් කියන සෝචනීය කතාව මෙම පරීක්ෂණ වල අඳුරු පැත්ත පැහදිලි කරයි.



මේ 17 හැවිරිදි පසැල් දරුවා සුරංජිත් කියන කතාවයි;



"ඔවුන් මාව ත්‍රීවීල් එකක දාගෙන අරගෙන ගියා.. ඒ අරගෙන ගියේ පොලිසියට නෙමේ.. කාමරයකට.. එතැනට ගෙනිච්චට පස්‌සේ ඒ නිලධාරින් මට හොඳටම පහර දුන්නා.. මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා ඡායාරූප ගත්තා..දණගස්‌සවලා මට පහර දුන්නේ.. පහර දෙන අතරේ කිව්වා සේයා නංගිව මරපු හැටි කියපන් අපි ඔක්‌කොම දැනගෙන ඉන්නේ කියලා.. ඔවුන් මට කිව්වා "උඹලගේ ගෙවල් ළඟ ඉන්න පැතුම්ව අපි අරන් ඉන්නේ. ඌව පෑලියගොඩ පොලිසියට ගෙනිහින් ගහනකොට හැම දෙයක්‌ම කිව්වා.. ඒ නිසා උඹත් දැන් වරද භාර ගනින් කියලා.."



මේ තරුණ එක් දරු පියා පැතුම් කියන කතාවයි :



"දැන් ජීප් එකේ මාව අරගෙන යනවා.. ඒ යන අතරේ පොලිසියේ අය මගේ බෙල්ල මිරික මිරික කියනවා තෝව අද මරනවා ඒ නිසා සේයාව මරපු විදිහ කියපන් කියලා.. ඔවුන් මාව අරගෙන ආවේ කාමරයක්‌ වගේ එකකට. එතැනට ගෙනත් මගේ ඇඳුම් ඔක්‌කොම ගලවලා දැන් කියපන් ළමයා මැරුවේ කොහොමද කියලා අත් පිටිපස්‌සට තියලා බැඳලා බාල්කයක එල්ලලා මට හොඳටම ගැහුවා.එහෙම ගහනකොට මගේ පිට කොන්ද මොනවද වුණා.. ඒ වේදනාව ඉවසගන්න බැරුව ගියා.. ඒවෙලේ මම කෑගහලා අඬලා කිව්වා මගේ කොන්දට මොනවද වුණා.. මම වරදක්‌ කරපු කෙනෙක්‌ නෙමේ මාව බිමට ගන්න කියලා.. ඒත් උන් මට මාරුවෙන් මාරුවට ගැහුවා.වරද පිලිගන්න කිය කියා ගැහුවේ..පහුවෙනිදා සී.අයි.ඩී. එකට භාර දුන්නා.. සී.අයි.ඩී. එකේ අයත් මාව කාමරයකට අරගෙන සේයා මැරුව විදිහ කියපන් කිය කියා හොඳටම ගැහුවා. එක වෙලාවක මගේ කටට පිස්‌තෝලයක්‌ දාලා දැන් තෝව මරනවා ඇත්ත පිළිගනින් කියලා තද කළා.. ඒකෙන් දවස්‌ දෙකක්‌ යනකම් මගේ උගුර තුවාල වෙලා වතුර ටිකක්‌වත් බොන්න බැරුව ගියා.."





කොන්ඩයා වරද පිලිගත්ත කියා අපට කියන්නේ මේ පොලීසියමය..



කොණ්‌ඩයා සේයා දැරියගේ ඝාතනය පිළිබඳ පාපොච්චාරණය රටේ මාධ්‍යවල පොල්ගෙඩි අකුරෙන් පළ වෙන්නේ මෙසේයි... "මම අම්මගේ තුරුළේ නිදාගෙන හිටිය දැරිය වඩා ගන්නකොට ළමයා අම්මේ.. අම්මේ.. කියල කෑගහුවා.. එවෙලේ දරුවගේ කටයි මූණයි තද කරලා වහලා එළියට අරගෙන ඇවිත් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල මිරිකලා දූෂණය කළා.. පස්‌සේ ඇඳුමෙන් බෙල්ල තද කරලා මරලා ඇළට දාලා යන්න ගියා.."



සැකකරුගේ පාපොච්චාරණය පිලිබඳ ලුනු ඇඹුල් දා ලියා තිබුනු පොලිස් වාර්තා කියවන විට මට පොඩි සැකයක් මතු වූ බව මතකය. "ජනේලෙන් බලද්දී අම්මත් එක්ක ඇදේ නිදාගෙන ඉන්න දැරිය දැකලා මට ආසාවක් ඇති උනා" කියා සැකකරු කී බව පොලිසිය මාධ්‍යයට කියා තිබුණි. හැබයි ඊට පෙර වාර්තාවල කියවුනේ මව රූපවාහිණිය බලමින් සිටි බවත් දැරිය තනිවම නිදා සිටි බවත් නොවේද ?



තවත් එක මාධ්‍ය ආයතනයක නිකුත්වෙන කෙටි පණිවිඩයකින් ඊයේ කියවුනේ සේයා සදෙව්මි ඝාතනය පිලිබඳ සැකපිට තවත් අයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවය. පොලීසිය කියන විදියට කොන්ඩයා පාපොච්චරණය කලානම් තවත් සැක කරුවෝ මන්ද ?



මෙය වටහා ගන්නට බන්ධනාගාරය පැත්තෙන් ඇසෙන කතා පොඩ්ඩක් විමසා බලමු.



රටේ ජනතාව පාපතර කොණ්‌ඩයාට ශාප කරමින් දෙස්‌ දොවොල් තබමින් සිටින අතරේ මාධ්‍යවේදියකු මීගමුව බන්ධනාගාරයේ දන්නා හඳුනන අයකුගෙන් කොණ්‌ඩයා පිළිබඳ විමසා ඇත.



"අනේ මන්දා අයියේ.. අපිත් දෙකක්‌ නෙලලා උගෙන් කතාව ඇහුවා.. ඌ කියනවා පොලිසිය ගහපු ගැහිල්ලට මරයි කියල හොඳටම බයවෙලා ඌ කියන කියන දේට ඔව් කිව්වලු.. කොණ්‌ඩයා අපිට නම් කියන්නේ ළමයා මැරුවේ ඌ නෙමේ කියලා.. උගේ ඩී. එන්. ඒ. රිපෝර්ට් එකත් අවුල් කියලා තමයි අපිට ආරංචි.."



පොලීසිය තවත් සැක කරුවන් සොයන්නේ සැකකරුවන් ලවා පාපොච්චාරණය කරවා ගන්නා තරම් ලෙහෙසියෙන් ඔවුන්ගේ ඩී. එන්. ඒ. වාර්තා වෙනස් කරන්නට බැරි නිසාද යන සාධාරණ ප්‍රශ්නය අසන්නට අපිට දැන් සිදුව ඇත.



"ඔබතුමන්ලාගේ දැඩි ඉල්ලීම පිට දැන් එල්ලන්නේ කවුද ?" කියා එල්ලුම්ගස ගැන නොනවත්වා මතුරණ ජනතාවගෙන් අසන්නට මම කැමත්තෙමි.



ලෝකයේ තාක්ෂණය අතින් දියුණුම රටවල් පවා එල්ලුම් ගස ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් කිසිවෙකුට පොලිස් පරීක්ෂණයක නිවැරදි බාවය පිලිබඳ 100% විශ්වාස කල නොහැකි නිසාය. ජීවිතාන්තය දක්වා සිරගෙදරට නියමවී සිට වසර පහලොවකට, විස්සකට පසු අලුත් සාක්කි මත නිදහස් වූ පුද්ගලයන් ගැන කතා ඕනෑ තරම් ලෝකයේ තිබේ. ඒ රටවල් හදිසි වී ඒ අහිංසකයන් එල්ලා දැමුවානම් ප්‍රමාද වී හෝ ඔවුනට සාධාරණයක් ඉටුවීමට අවස්ථාවක් නැත.



ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉහලවූවත් දරුවන්ට තර්කානුකූලව සිතන්නට පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් අපට නැත. පාසැලේදී කලාක් මෙන්ම අච්චු ගසා ඇති ඕනෑම දෙයක් සත්‍යය ලෙස පිලි ගැනීමේ දුර්වලතාව අප සමාජය තුල බහුලය. මාධ්‍යයක වාර්තා වූ පමණින් සියල්ල දේව වාක්‍ය ලෙස සලකා අන්‍යයන් ගැන මතයන් ඇතිකර ගැනීම බුද්ධිමත් ලක්ෂණයක් නොවේ. පහුගිය සමය තුල තම තමුන් ගිල්ල ලණු ටික ගැනවත් ආවර්ජනයක් කලහොත් අඩු ගානේ අද වෙන්නේ කුමක්ද කියාවත් තෙරුම් ගන්නට පුලුවන් වනු ඇත.

- ආචාර්ය නාලක ගොඩහේවා