SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 28 Mar 2024   23:13:34
හයිබ්‍රිඩ් උසාවි එපා!:
21 Sep 2015 20:24:05
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී යෝජිත ‘දඬුවම් කිරීම අරමුණු කරගත්’ ‘හයිබ්‍රිඩ් විමර්ශනය’ මෙන්


Sep 21, 2015 (SLBO) - දේශීය මුහුණුවරක් ගත් විදේශීය විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනාව බිය ගෙන දෙන සුළු බව වියතුන්ගේ හඩ සංවිධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

"එහෙත්, අප දකින ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී යෝජිත ‘දඬුවම් කිරීම අරමුණු කරගත්’ ‘හයිබ්‍රිඩ් විමර්ශනය’ මෙන්ම විදේශ අමාත්‍යවරයාගේ දේශනය ජාතීන් අතර ගැටළු ඇති කරන්නකි. ‘මෛත්‍රිය’ පදනම් කරගත් ‘සමාවදීම’ අවශ්‍ය පශ්චාත්-යුධ කාලින රටකට, ‘වෛරය’ පදනම් කරගත් ‘පලිගැනීමේ’ ක්‍රියාදාමයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් යෝජනා කිරීම සහ ආණ්ඩුව විසින් කිසිදු විකල්ප මතවාදයක් ඉදිරිපත් නොකරම එය භාරගැනීම අපි කිසිසේත් අනුමත නොකරමු" යනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත පසුගියදා පූජ්ය පක්ෂ්ය, මහාචාර්යවරු හා ආචාර්යවරු 18 දෙනෙක් ලිපියකින් දැනුම්දී ඇත.




එසේම එම යෝනජාව ආණ්ඩුව ඒ ආකාරයෙන්ම බාර ගැනීම අනුමත් නොකරන බවත් එම සංවිධානය කියයි.



එම ලිපිය සම්පූර්ණයෙන් පහළින් දැක්වේ...



2015 සැප්තැම්බර් මස 21 වන දින
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලුමුවදොර
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
පශ්චාත් යුධ-කාලීන ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා පදනම විය යුත්තේ
‘වෛරය’ නොව ‘මෛත්‍රිය’ යි; ‘පලිගැනීම’ නොව ‘සමාවදීමයි’
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිලිබඳ ඉදිරිපත් කළ යෝජනා සහ රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කළ දේශනය කෙරෙහි අපේ අවධානය යොමු වී තිබේ. එහි අන්තර්ගතය සහ ප්‍රතිපලය මේ රටේ ජාතීන් අතර පවතින අවිශ්වාසය සහ වෛරය තුනී කිරීමට නොව, වර්ධනය කිරීමට හේතු විය හැකි බව අපේ විශ්වාසයි.

අද අපි පැමිණ ඇත්තේ රටේ අනාගතය පිලිබඳ තීරණාත්මක සන්ධිස්ථානයකටය. දශක දෙකකකට වැඩි කාලයක් පුරා පැවති යුද්ධය නිම වුවද, එහි අහිතකර ප්‍රතිපල ලෙස ජාතීන් අතර පවතින බෙදීම සහ අවිශ්වාසය තිබුණාටත් වඩා අද සමාජය තුළ වැඩි වර්ධනය වෙමින් පවතී. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් නැවත වතාවක් රට යුද්ධයකට තල්ලු වීමට ඉඩ ඇති බව අපේ විශ්වාසයි.

එබැවින්, ජාතින් අතර පවත්නා බෙදීම සහ අවිශ්වාසයෙන් පෝෂණය ලබන ‘වෛරයේ චක්‍රය’ බිඳ දැමීමේ වගකීම රජයටත්, ජාති, ආගම්, දේශපාලන, සමාජ සහ සංස්කෘතික යනාදී කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සියළු දෙනාටමත් පැවරී තිබේ. එසේම, අප රටට බලපාන කරුණු කෙරෙහි උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ප්‍රජාව මතත් එම වගකීම පැවරී ඇති බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

අප දකිනා ආකාරයට මේ මොහොතේ උදාවී ඇත්තේ ‘සංහිදියාවේ පැය’ යි. සමහර විටෙක එය අප හමුවෙහි පවතින අවසන් අවස්ථාව වීමට ද ඉඩ ඇත. එබැවින්, ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාදාමයට බාධාවක් වන කිසිදු කටයුත්තක් සිදු නොකිරීමට ආණ්ඩුවත්, ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අප මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවත් පරෙස්සම් විය යුතුය. ඒ මන්ද යත්, ඉතා සුළු ප්‍රකාශයක් හෝ සිද්ධියක් වුවද අළු යට සැඟවී පවතින වෛරයේ ගිනි පුපුරු යළි අවුලවා, රට තවත් ව්‍යසනයකට තල්ලු කිරීමට ප්‍රමාණවත් වනු ඇත. තවත් එබඳු ව්‍යසනයක මිල දැරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත.

එහෙත්, අප දකින ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී යෝජිත ‘දඬුවම් කිරීම අරමුණු කරගත්’ ‘හයිබ්‍රිඩ් විමර්ශනය’ මෙන්ම විදේශ අමාත්‍යවරයාගේ දේශනය ජාතීන් අතර ගැටළු ඇති කරන්නකි. ‘මෛත්‍රිය’ පදනම් කරගත් ‘සමාවදීම’ අවශ්‍ය පශ්චාත්-යුධ කාලින රටකට, ‘වෛරය’ පදනම් කරගත් ‘පලිගැනීමේ’ ක්‍රියාදාමයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් යෝජනා කිරීම සහ ආණ්ඩුව විසින් කිසිදු විකල්ප මතවාදයක් ඉදිරිපත් නොකරම එය භාරගැනීම අපි කිසිසේත් අනුමත නොකරමු.

දේශීය මුහුණුවරක් ගත් විදේශීය විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනාව බිය ගෙන දෙන සුළුය. යුද්ධයට දායක වූ තෝරා ගත් පාර්ශවයන් වෙත පමණක් ඇඟිල්ල දිගු කරමින්, යුද්ධය අතරතුර සිදුවූ සිද්ධීන් පිළිබඳව දඬුවම් කිරීමට යෝජනා කරන එවැනි පළිගැනීමේ ක්‍රියාමාර්ග රටේ සාමය හා සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියට බාධාවකි. අතීතය ගැන ඇඟිලි දිගු කර ගනිමින් විවිධ විමර්ශන සඳහා කෙරෙන යෝජනා වලින් සිදු කරනුයේ යුද්ධයට පදනම සැපයූ මතවාදයන් යළි කරළියට ගෙන ඒමට අන්තවාදී කණ්ඩායම් වලට වේදිකාවක් තනාදීමයි. විදේශ අමාත්‍යවරයාත්, ආණ්ඩුව සහ ජාත්‍යන්තර ප්‍රජාවත් තේරුම් ගත යුත්තේ එවැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමන දේශපාලන සහ නෛතික හේතු ඉදිරිපත් කළ හැකි වුවද, එවැනි ක්‍රියාමාර්ගයන්හි අහිතකර ප්‍රතිපල මෙ රට ජාතීන් අතර මේ වන විටත් පවත්නා බෙදීම සහ අවිශ්වාසය තව තවත් තීව්ර කිරීමෙහි දායක වනවා මිස, වෛරයේ සහ අවිශ්වාසයේ දුෂ්ඨ චක්‍රය බිඳ දැමීමට රුකුලක් නොවන බවයි.

ජාත්‍යන්තර ප්‍රජාවට කුමක් අවශ්‍ය වුවද, ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපට නම් අවශ්‍ය වන්නේ වෛරයේ චක්‍රය බිඳ දැමීම සඳහා වූ ‘සංහිදියාව’ පිලිබඳ ක්‍රියාමාර්ග තව තවත් ශක්තිමත් කිරීමයි. ඒ සඳහා උදාවී ඇති අවස්ථාව අපෙන් උදුරා ගන්නවාට අපි විරුද්ධ වෙමු. එබැවින්, ඒ සඳහා බාධා වන කිසිදු ආකාරයේ විමර්ශනයක් ආරම්භ නොකිරීම වඩා ප්‍රඥා ගෝචර වන බව අපේ විශ්වාසයයි.

එසේම, ආණ්ඩුව පැත්තෙන් සලකා බැලූවිට කිසිදු වග විභාගයක් නොමැතිව ජාත්‍යන්තරයෙන් එන යෝජනා පිළිගන්නට ගියහොත්, ඒ වෙනුවෙන් ආණ්ඩුවට ගෙවන්නට සිදුවන දේශපාලන මිල අධිකය. අපි ආණ්ඩුවට පෙන්වා දෙන්නේ සියළුම ජාතීන් ‘මතවාදීමය මධ්‍ය ලක්ෂ්‍යයකට’ ගෙන ඒමට මේ ආණ්ඩුවට අගනා අවස්ථාවක් උදා වී ඇති බවයි. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි යෝජනා කරමු.

ඒ සඳහා ආණ්ඩුව ගත යුතු එක් ක්‍රියා මාර්ගයක් වන්නේ ගැටුම්වලට සම්බන්ධ පාර්ශවයන් සහ ඔවුන්ට සහාය දක්වන ජනතාවට මතවාදීමය වශයෙන් බලපෑම් කළ හැකි ‘මැද-පෙළ නායකයන්’ එනම්, පුජක පක්ෂය, උගතුන් හා බුද්ධිමතුන්, කලාකරුවන්, වෙනත් සිවිල් සමාජ නායකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් ‘සංහිදියා’ වැඩපිළිවෙලෙහි කොටස්කරුවන් ලෙස සම්බන්ධ කර ගෙන, ඔවුන් හරහා ජනවාර්ගික ප්‍රශ්නය පිලිබඳ ‘මතවාදී මධ්‍ය ලක්ෂ්‍යයක්’ නිර්මාණය කරවා ගැනීමයි. එවිට, සංහිදියා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාම රජයට වඩා පහසු වනු ඇත.

එසේම, සංහිදියාව පිලිබඳ ගෝලීය අත්දැකීම් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන කරුණු ඇසුරින් මතක් කළ යුතුව ඇත්තේ ආණ්ඩුව විසින් දියත් කරන්නට බලාපොරොත්තුවන සංහිදියා ක්‍රියා මාර්ගය සඳහා දෙමළ ජාතිය පමණක් නොව සිංහල ජාතිය ඇතුළු අනෙකුත් ජාතීන් ද සක්‍රීය ලෙස දායක කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වන බවයි. එහෙත්, විදේශ අමාත්‍යවරයා ඔහුගේ ජගත් මානව හිමිකම් සමුළු දේශනයේදී සඳහන් කරන ආකාරයට, වර්තමාන ආණ්ඩුව සියළු කටයතු කරන්නේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳීමටයි. ඔහුගේ එම දේශනයේ සිංහල හෝ අනෙකුත් ජාතීන් ගැන සඳහනක් කිරීමක් නැත. එසේම දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳීමට ‘අභ්‍යන්තර පරීක්ෂණයකුත්’, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකුත්’ ගෙන එන බවට විදේශ අමාත්‍යවරයා ඔහුගේ දේශනයේ දී ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු විය.

මේ රටේ වාසය කරන්නේ දෙමළ ජනතාව පමණක් නොවන බව විදේශ අමාත්‍යවරයාත්, ආණ්ඩුවත් තේරුම් ගත යුතුය. මේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර ඇතුළු ජන වර්ග ගණනාවක් වාසය කරන බහු වාර්ගික රටකි. එවැනි රටක ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ දෙමළ ජනතාවගේ ගැටළු පමණක් විසඳීමට නොවන බව විදේශ අමාත්‍යවරයාත්, ආණ්ඩුවත් වටහා ගත යුතුය. එබැවින් එවැනි ස්ථාවරයන් අපි අනුමත නොකරමු.



එබැවින්, අප ආණ්ඩුවට ඉතා කාරුණිකව පෙන්වා දෙන්නේ නොයෙක් බලපෑම් වලට යටත් වී, පටු සහ අදූරදර්ශී සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ දැරුවහොත් එයින් රට තුළ අභාග්‍ය සම්පන්න තත්ත්වයක් අනාගතයේ ඇති විය හැකි බවයි. අද ඉරාකය සහ සිරියාව වැනි රටවල් දෙස ඇස් ඇර බලන ලෙස විදේශ අමාත්‍යවරයාටත්, ආණ්ඩුවටත් අපි යෝජනා කරමු.

අතිගරු ජනාධිපතිතුමනි, අප හමුවෙහි උදා වී ඇත්තේ සංහිදියාව සඳහා වූ ‘ස්වර්ණමය අවස්ථාවකි’. එය විනාශ නොකරන ලෙස විදේශ අමාත්‍යවරයාටත්, ආණ්ඩුවට සහ ජාත්‍යන්තර ප්‍රජාවටත් අවබෝධ කර දී, එම පාර්ශවයන් නිවැරදි මාවතට අවතීර්ණ කර දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.


ස්තුතියි.

මෙයට - විශ්වාසී,

‘විද්වතුන්ගේ හඬ’ වෙනුවෙන් අත්සන් කළේ,


1. පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

2. සරත් හෙට්ටිආරච්චි පියතුමා

3. බාබු ෂර්මා කුරුක්කල්තුමා

4. හසන් මවුලානා මවුලවිතුමා

5. මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම

6. මහාචාර්ය ජනිතා ලියනගේ

7. මහාචාර්ය සුදන්ත ලියනගේ

8. ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත

9. ආචාර්ය නාලක ගොඩහේවා

10. ආචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු

11. නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ

12. නීතීඥ මහේෂ් කටුලන්ද

13. නීතීඥ පසන් ගුණසේන

14. ලක්ෂ්මන් වික්‍රමසිංහ

15. පී. ඩී. ප්‍රනාන්දු

16. ශර්මිලා ගෝනවල

17. අනුරාධා යහම්පත්

18. දමිත වික්‍රමසිංහ