SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 25 Apr 2024   17:29:43
ගිවිසුමක් නැතිවෙයි! :
17 Jun 2013 15:02:56
මොරිසොන්ට 13% අදායම් ලබා දෙන බෙදාහැරීමේ ගිවිසුමක් නැති වෙයි!


එසෆුලි ලාගේ හේමාස් ජේ. එල්. මොරිසොන් පුත්‍රයන්ව රුපියල් බිලියන 1.7 කට අරන් දවස් 17, මොරිසොන්ට 13% අදායම් ලබා දෙන බෙදාහැරීමේ ගිවිසුමක් නැති වෙයි!

පොසොන් 17, 2013 (SLBO) - කොළඹ කොටස් වෙළඳපොලේ පසුගිය වසර තුනක් පමණ කාලයක් ඉතා ප්‍රසිද්ධියේ කොටස් තැරැව්කරුවන් අතර නිතර පාහේ කතා බහ වුනු 'ඩීල්' හෙවත් මහා පරිමාණ 'ගනු-දෙනු වක්' ලෙස සැලකුණු ජේ. එල්. මොරිසොන් පුත්‍රයන් සහ ජෝන්ස් සමාගම විකිණීමට තිබුණු බව කියන කසු කුසුව අවසන් වුයේ පසුගිය මැයි 30 වෙනිදා හුසේන්,අබ්බාස්,ඉම්තියාස් නම් එසෆුලි සිව් සහෝදරයන් ප්‍රමුක හේමාස් හෝල්ඩින්ග්ස් සතු හේමාස් මැනුෆැක්චරින් සමාගම මගින් ජේ. එල්. මොරිසොන් පුත්‍රයන් සහ ජෝන්ස් සමාගමේ 71.5% ක ඡන්ද හිමි කොටසුත් 50% නිෂ් - ඡන්ද කොටසුත් රුපියල් බිලියන 1.7 කට පමණ මිලදී ගැනීමෙනි.

කොටස් වෙළඳපොලේ සහ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වැඩිය සද්දේ නොදැමූ 'අහිංසක මෙතෙක් අනුන්ගේ ඩීල් කටින් මාකට් කරපු ආයෝජන බැංකු කරුවෙකු දැමු ප්‍රථම ඩීල්' එක ලෙස හැඳින්වූ මෙය සිදු වී හේමාස් පුත්‍ර හුසේන් එසෆුලි ඇතුළු පිරිස මොරිසොන් පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂක පුටුවට පා තබා වැඩ පටන් අරන් දැන් දවස් 17 ක් ගත වී ඇත. නමුත් හදිසියේ ම කොළඹ කොටස් වෙළඳපොලේ දැනුම්දීමකින් කියවුනේ මොරිසොන් පුත්‍ර සමාගමේ 2012/2013 ගිණුම් වසරේ ආදායමෙන් 13% පමණ දායාද කල ගෙදර දොරේ භාවිත වෙන පාරිභෝජක භාණ්ඩ පෙළ රැසක බෙදාහැරීමේ ගිවිසුම කෙලවර වූ බවත් එය මේ වසරේ එනම් 2013 අගෝස්තු 29 වෙනිදා පටන් ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ මොන ගෙදර දොරේ භාවිත වෙන පාරිභෝජක භාණ්ඩ පෙළද යන්න නොදැක්වුවත්; මොරිසොන් පුත්‍ර සමාගම යනු ලංකාවේ පුරාම මෙතෙක් කල් - හමේ අව්වට පිළිස්සීම් සහ කැළැල් මැකීමට ගාන - ලැක්ටෝ කැලමයින්, වැල්මෙලික්ස්, මොරිසෝන් ග්‍රයිප් මික්ස්චර්, මොරිසෝන් ළමා නිෂ්පාදන, බෙදා හැරපු සමාගමයි. තවද එම සමාගම ගුඩ් නයිට්, කිවි වැනි සපත්තු ආලේපන (පොලිෂ්), වයිප්රෝ නිෂ්පාදන, නිවියා නිෂ්පාදන මෙන්ම ගානියර් සහ ලෝරියල් නිෂ්පාදන වැනි ලොව සුප්‍රසිද්ධ නම් දැරූ පාරිභෝජක භාණ්ඩ බෙදා හැරු අතර තම සාමාගම නිපදවූ ඖෂධ කීපයක්ම ලංකාවට ම විකුණු ආයතනයකි.

ජේ. එල්. මොරිසොන් පුත්‍රයන් සහ ජෝන්ස් (සිලෝන්) සමාගම 1939 දී ලංකාවේ ආයතනයක් වශයෙන් ලියාපදිංචි වී ඇති අතර එකල ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය අවසන් වීමත් සමගම හෙමින් හෙමින් රෙජි අබේයිවීර විසින් 1959 සිට සේවකයන් අට දෙනෙක් සමග ඉතා විශාල සමාගමක් බවට ගොඩනැගු අතර ගිය පසුගිය ගිණුම් වසරේදී රුපියල් බිලියන 2.9 ක් අදායම් ලැබූ අතර රුපියල් මිලියන 218.4 ක බදු පසු ලාභයක් ලබන ලදී.

කෙසේවෙතත් 2006 මැයි මස වෙන විට 'සස්ටජෙන්' නිෂ්පාදනය කරන ඇමෙරිකාවේ මේඩ් ජොන්සන් සමාගමෙන් බෙදා හැරීමේ ගිවිසුම් අයිතියත් ජේ. එල්. මොරිසොන් පුත්‍රයන් සහ ජෝන්ස් (සිලෝන්) සමාගම ට මෙවැනි ලෙසම නැති විය.

භෝරා ජාතික මෝහමෙඩ්භෝයි අලිභෝයි 1870 දී ඉන්දියාවේ සිට පැමිණ ඊ.ජී. ඇඩම්අලි සහ සන්ස් සමාගම පිහිටවූ අතර ඔහුගේ පුත් ෂීක් හසන්අලි එසෆුලි 1948 ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් යුගයේ හේමාස් ඩ්‍රග්ස් ලිමිටෙඩ් නමින් සමාගමක් පිහිටවන ලදී.1956 වෙන විට කොටුවේ හේමාස් ගොඩනැගිල්ල ගොඩනැගීම ඇරඹු අතර එකල ශ්‍රී ලංකාවේ මහා බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, සීයිසී සමාගම එහි මුල් කුලී කරුවන් විය.

ෂීක් හසන්අලි එකල ඔහුගේ කොළඹ මල් පාරේ ගේ පිටිපස්සේ සබන් සහ ක්‍රීම් නිෂ්පාදනය පළමුව අරඹා 1962 වෙන විට ප්‍රංශ බහි ජාතික සමාගමක් සමග එක්ව එය වැඩි දියුණු කල අතර අද ලංකාවටම ගෝල්ඩ් කොන්ඩේ ගාන ජෙලුත්, බේබි ෂෙරෙමි ක්‍රීම් සහ සබන් වැනි අනෙක් නිෂ්පාදනත් , ප්‍රෝ ස්පෝට් කොලොන්ග් සහ ෆෙම්ස් වැනි සනීපාරක්ෂක තුවාත්, ඩිවා,විස්,ගෝයා,පැරිස්,කුමාරිකා,කැප්රි,ඩැන්ඩෙක්ස්, ක්ලොගාර්ඩ් ටූත්පෙස්ට් මෙන්ම වෙල්වට් නිෂ්පාදන අලෙවි කරයි.අද වෙනවිට වත්තල,තලවතුගොඩ සහ ගාල්ලේ රෝහල් තුනකුත්, ලංකාවේ තාප බලය නිපදවන හෙලධනවි සමාගමේ 50% කුත්, කුඩා ජල විදුලි බලාගාර 3 කුත්, මිස්ටර් පොප් ස්නැක් වර්ගත්, ලංකාවේ අවානි හෝටල් සමුහයත්, හොටෙල් සිගිරිය සහ ඩොල්ෆින් හෝටලයත් හිමි මහා පරිමාණ ආයතනයකි.

1993 දී හේමාස් ඩ්‍රග්ස් ලිමිටෙඩ; හේමාස් හෝල්ඩින්ග්ස් ලෙස නම් වෙනස් කල අතර 2002 දී ෂීක් හසන්අලි එසෆුලි ගේ මුනුබුරු හුසේන් එසෆුලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බවට පත් වූ අතර 2003 සමාගම කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත විය. 2006 දී ලලිත් ඩි මේල් ව සමාගමේ විධායක නොවන සභාපති ලෙස පත් කර ඇතත් සමාගමේ ජීව රුධිරය වන්නේ ෂීක් හසන්අලි එසෆුලි ගේ මුණුබුරන් වෙන හුසේන්,අබ්බාස්,ඉම්තියාස්,මුර්තාසා එසෆුලි සහෝදරයන්ය.